රස කථා පිටුව...

    මෙන්න මේ කතන්දරේ කලින් අහල තියෙනව ද...?



මට අපේ institute එකේ set එක බබාල ගැන කරන Joke නිසාම මේ කථාව දාන්න හිතුන..........
                             ඔන්න එක මනුස්සයෙක් පොඩි ළමයෙක්ව වඩාගෙන ගෙදර මිදුලේ ඉන්න කොට ඉස්සරහ පාරේ යන කාන්තාවක් මේ මනුස්සයව දැකල නතරවෙලා බබාව හුරතල් කරන්න පටන් ගත්තලු. 


දන්නවනේ කාන්තා පක්‍ෂය, අනුන් ගේ ළමයි හුරතල් කරන්නත් හරි දක්‍ෂයෝ නේ?


පස්සේ මේ කාන්තාව කිව්වලු අනේ බබා නං තාත්ත වගේමයි කියල.


මේක අහපු බබාව වඩාගෙන හිටපු පොර බයවෙලා වටපිට බලල තියෙන්නේ කාට හරි ඒ කතාව ඇහුණද කියලයි. මොකද පොර මේ වඩාගෙන ඉදල තියෙන්නෙත් අල්ලපු ගෙදර බබාවයි..!


 මං A/L වලට Bio Science කරපු කාලෙ කට්ටියත් එක්ක ඉන්නකොට මට අහන්න ලැබුනු කතන්දර කීපයක් ලියන්නයි මේ සැරසෙන්නේ.


ඉස්සර රජ කාලේ තමන්ගෙන් පස්සේ රජකම බාරදෙන්න රජ්ජුරුවන්ට ඕනෑ වෙනවා පුතෙක්. සමහර රජවරුන් ගේ අග බිසෝ ට පුත්තු ලැබෙන්නේ නෑ. දුලාමයි ලැබෙන්නේ. ඉතිං රජා ගේනවා තව බිසවක්. ඒ බිසවගෙන් පුතෙක් නොලැබුණොත් ඊට පස්සේ තව බිසවක් යනාදී වශයෙන්. 


අවුලක් නෑ, මේක නේ ඉතිං රජ සැප විඳිනවා ය කියන්නේ...!


ලංකාවේ නරේන්ද්‍රසිංහ රජ්ජුරුවෝ මොනරවිල බිසව පැත්තකට දාලා ප්‍රමිලා ව ඉන්දියාවෙන් import කළෙත් ඔය පුත්තු කාරණාව නිසයි මං හිතන්නේ... 


මෙතනදී නං මයෙ හිතේ පුතෙක් තියා දුවෙක්වත් ඉඳලා නෑ.


පර්සියාවේ ෂා, තමන්ගේ මුල් බිරිඳ ෆව්සියාව ඩිවෝස් කරලා සොරායා ව බිසෝකමට අරගෙන තියෙන්නේත් ඔය නිසයි. පස්සෙ සොරායා ට බූට් එක දීලා ෆාරා ඩීබා ව බැන්දාලූ.


නමුත් ඔය පුතාලා ගේ කේස් එකේ ඇත්ත කතාව ඔයිට වඩා වෙනස් එකක්. මිනිස්සුන් ගේ ජානවල තියෙනවා X සහ Y කියලා ක්‍රොමසෝම දෙවර්ගයක්. ගෑණුන් ගේ ජානවල තියෙන්නේ X වර්ගයෙන් යුගලක් විතරයි.


ඒ කියන්නේ පිරිමි XY, ගෑනු XX.


දැන් ඔය ගෑනු පිරිමි එකතු වුණාම ළමයි හැදෙන හැටි ගැන නමවෙනි ශ්‍රේ‍ණියේ විද්‍යාව පොතේ පවා විස්තර කරළා තියෙන බිත්තර සහ ඉස්ගෙඩි කතන්දරේ දන්නව නේද?


ඉතිං ගෑණියෙකුයි, පිරිමියෙකුයි එකතුවෙලා පුතෙක් ලැබෙන්න නම් අවශ්‍ය Y ක්‍රමසෝමය යන්න ඕනෑ පිරිමියාගෙනුයි.


ඒ කියන්නේ පුතෙක් හම්බ නොවුණාය කියලා රජා බිසව මාරු කළාට වැඩක් වෙන්නේ නෑ. බිසෝවරු ගාව කොයින්ද Y ක්‍රොමසෝම?


ඔන්න බිසව මේ රජාව මාරු කරලා වෙන රජෙක් ගත්ත නං, නිකං අනුලා දේවි වගේ, වැඩේ හරියන්න ඉඩ තියෙනවා.


මේකේ විද්‍යාව නං මං හරියට දන්නේ නෑ, කතාවට කියන්නේ ඔය "බිත්තරේ බලා දුවන රේස් එකට හොඳ ජවසම්පන්න ඉස්ගෙඩියෝ දාන්න පුළුවන්නම් ලු පුත්තු ලැබෙන්නේ". 


ඉතිං අද කතාව මේකයි....


අපේ නැන්දට බබෙක් ලැබෙන්න නැන්ද නිළමෙට ඇඳලා ඉන්න කාලේ අපේ ගෙදර ආපු අපේ හිතවත් අක්ක කෙනෙක් මට කියනවා මෙන්න මෙහෙම.


"ඔන්න පුතෙක් ලැබුණොත් තමයි තාත්තා හපනා...!"


මේකයි වැඩේ. අක්කට ඉන්නේ පුත්තු ම දෙන්නෙක්. ඒ නොකියා කිව්වේ තමන් ගේ මිනිහා හරි හපනා කියලයි.
                                   
09/12/11 sAcHiTh
__________________________________________________



පෙම් කිරීමට උපදෙස් පාඩම් අංක 1 




        කාලෙකට ඉස්සෙල්ලා මං ලව් කරන්නට යන කොල්ලන්ට පොඩි උපදෙසක් දෙන්න ලියන්නම් කියල හිතුවත් මගේ girl එක්ක වුනු chooty problem හිංද ඒ අදහස අත ඇරල දාන්න වුනා.. හැබැයි මේක අත්දැකීම් නැති සමහරුන්ට ටියුබ් ලයිට් වුනත්, හුඟ දෙනෙක් මං කියන කතාවට මුළුමනින්ම එකඟ වෙයි කියල හිතෙනව.


කිසිම ගුරු මුෂ්ඨියක් නැතුවයි මේ කියන්නේ ඇත්ත ඇති හැටියේ.


දැන් ඔන්න හිතන්න තමන්ගේ හිතේ අදහසක් තියෙන කෙල්ලෙක් ඉන්නවා. හොඳට දන්නවා, අඳුණනවා, කතා කරනවා. නමුත් එතනින් එහාට මොකුත් නෑ කියලා.


දැන් මේ කෙල්ලගේ හිතේ තමන් ගැන "ආදර බර මියුරු කල්පනා, සාගර රළ ලෙස උපද්දන්න" ඕනෑ නම් කරන්න ඕනෑ මෙන්න මේකයි.


කෙල්ල හොඳට දන්න, නමුත් වැඩි දෙනා නොදන්න, පොඩි දෙයක් ගැන තර්කයක් පටන් ගන්න, හැබැයි තමන් තර්ක කරන්න ඕනෑ වැරදි පැත්තටයි. 


උදාහරණයක් විදියට කියනවා නම්," අයිෂ්වර්යා රායි බැඳලා ඉන්නේ ෂාරුක් ඛාන්ව හරි වගේ දෙයක් ගැන". ඊලඟට කොහොම හරි තමන් පැරදෙන්න ඔට්ටුවක් අල්ලන්න චොකලට් ස්ලැබ් එකක් වගේ දේකට.


ඉතිං, Net එකෙන් හරි, පත්තරේකින් හරි හොයලා බලලා, ඔට්ටුව තමන් දිනුව බව කෙල්ල එක්ක එකඟ වුණාට පස්සේ වහාම චොකලට් එක ගෙනත් දෙන්න. කලින්ම අරගෙන තියාගන්නත් පුළුවනි. දන්නවානේ අනිවා පැරදෙන බව.


සමහරවිට චොකලට් කෑල්ලක් ආපහු හම්බ වෙන්නත් ඉඩ තියෙනවා.


මේක සැක නොහිතෙන්න දෙතුන් පාරක් කරන්න පුළුවනි.


දැන් කෙල්ලගේ හිතේ ඇතිවෙන්නේ සතුටක්. ඇයි දිනුවනේ ඔට්ටුව.


කොල්ලා ගැන පොඩි අනුකම්පාවක්, ආදරයක් වගේ එකකුත් ඇතිවෙනවා සිකුරුයි.


ඊලඟට තමයි අමතක නොකර කළ යුතුම පාට් එක එන්නේ.


නිවාඩු පාඩුව පස්සේ දවසක කියන්න, "මං එදා අර ඔට්ටුව ඇල්ලුවේ අනිවාර්යෙන්ම ඔයාට දිනුම දීලා ඒ මාර්ගයෙන් ඔයාට චොක්ලට් එකක් දෙන්න"ය කියලා.


වැඩේ හොඳටම Positive වේවි.


මේක ට්‍රයි කරන කාලේ නොකරපු අයට, පස්සෙන් පහු වුනත් කරන්න පුළුවන්. ඒ මගින් ඔය පොඩි පොඩි අමනාපකං, අවුල් නැති කරගන්නත් පුළුවන් වෙයි......


09/12/2011 sAcHiTh
__________________________________________________


ලංකාවටයි ඉන්දියාවටයි පොදු ලංකේන්ඩියා භාෂාව 


           ඔන්න ඉතිං මගෙ හිතවතා ගියා රුසියාවෙ ඉගෙන ගන්න scholorship එකක් ලැබිලා. මිනිහ එහෙදි නතරවුණු විශ්ව විද්‍යාල නේවාසිකාගාරයේ හිටියෙ ඉන්දියන්කාර room mate කෙනෙක්.

මුලදි, මුලදි දෙන්න කතාබහ කළේ දන්න ඉංගිරිසියෙන්. ටික ටික රුසියන් භාෂාව ඉගෙන ගන්න කොට නොදන්න රුසියන් වලිනුත් කතා කරන්න හැකිවුනා.

හැබැයි විවිධ අවස්ථා ඇවිල්ල තියෙනව මේ දෙන්නට, රුසියන් සහ ඉංගිරිසි වලට අමතරව වෙන භාෂාවකින් කතාකරන්න අවශ්‍ය වුනු. ඒ අනිත් අයට, විශේෂයෙන් ම රෂියන්ලටයි, ඒ එක්කම ඉංගිරිසි දන්න අයටයි නොතේරෙන්න.

මේ වෙනකොට දෙන්නට තේරිලා තිබුනෙ, ඉන්දියන්කාරයගෙ හින්දි භාෂාවටයි, ශ්‍රී ලාංකිකයගෙ සිංහල භාෂාවටයි පොදු සංස්කෘත භාෂාවෙ වචන තියෙන බව. හොඳම උදාහරණය තමා භාෂා කියන වචනයම. මේ සංස්කෘත වචන ඉන්දියන්කාරයටයි, අපේ පොරටයි දෙන්නටම තේරෙනව, හැබැයි වෙන උන්ට අණ්ඩර දෙමල..!ඉතිං මුං දෙන්න දන්න දන්න වචන පාවිච්චි කරමින් හදාගත්ත මං මේ කියන ලංකේංඩියා භාෂාව. 

ඔන්න උදාහරණෙකට හිතමු මුං දෙන්න කොහෙ හරි ගිහින් ඉන්න කොට පිටි පස්සෙ ඉන්නව කියල හොඳ ලස්සන කෙල්ලෙක්. මේ බව මුලින් දකින එකා අනිකට කියනව මෙන්න මෙහෙම.

දක්‍ෂිණ දිශා, සුන්දර් ස්ත්‍රී.

හොරුහෙන් ඒ දිහා කාටවත් නොතේරෙන විදියට බලන අනිකා උත්තර දෙනව මෙහෙම.

උත්කර්ෂ ස්ත්‍රී..! විශාල් පයෝධර්. චිත්තහ් ප්‍රීතී..! 

වැඩේ තේරුණා නේද?

මුං දෙන්න ඔය ආකාරයට මේ ලංකේන්ඩියා භාෂාවෙන් කතාකර කර හරි ජොලියක් වින්ද. භාෂාවත් එන්න එන්නම දියුණු වුණා. හැබැයි ඔන්න එක දවසක් වැඩේ වැරදුණා.



 අපේ දකුණු ආසියානුවො දෙන්න "උත්තර් දිශා අපූර් ස්ත්‍රී විශාල් පයෝධර්" වගෙ ජොලි දේවල් රහසේ කතා වෙවී හිටියට එක දවසක් වැඩේ කෙලවුණායි කිව්වනෙ. ඒක වුනේ මෙහෙමයි.


රුසියන් කාරයො කියන්නෙ කොහොමටත් රුස්සොනෙ. ඒ ගොල්ලො වැඩියෙන්ම රුස්සො වොඩ්කා බොන්නයි. එහෙ යන අපේ කොල්ලොත් ඉතිං ඉබ්බො දියේ දැම්ම වගේ. 


රුසියාවෙ ඉගෙන ගන්න ගිහින් ආපු පිරිමි පක්‍ෂයෙ කට්ටියෙ සමහරු රුසියාව ගැන අපිව කලකිරවන්න සී.අයි.ඒ. එකෙන් ද මුංට ශිෂ්‍යත්ව දුන්නෙ කියල අපිට හිතෙන තරමට බොන්නෙ ඒ කාලෙ පුරුද්දටයි.


ඉතිං අපේ ලංකේන්ඩියා භාෂා විශාරදයො දෙන්න දවසක් ගියා විශ්ව විද්‍යාලෙ පාටියකට. ඕකට රුස්සො ගෙනත් තිබුන නිකම්ම නිකං වොඩ්කා නෙමේ වොඩ්කා ස්ප්‍රිට් එක. ඇබ්සොලියුට් ඇල්කොහොල්, ඒ කියන්නෙ 98% විතරම මධ්‍යසාරය.


පොඩි ග්ලාස් එකකට මේ ස්ප්‍රිට් එකෙන් ටිකක් දාල කෙලින්ම උගුරට හලා ගන්න එක තමයි චාරිත්‍රය. ඕක ලේසි පාසු වැඩක් නෙමේ. කටේ දිවේ ගෑවුනොත් ඉතිං තත්වය දරුණුයි. තමන් නියම පොරක් කියල පෙන්න්න හොඳ අවස්ථාවක් තමයි මේක.


ඔන්න ඉතිං අපේ ලංකාවෙ පොර වොඩ්කා ස්ප්‍රිට් ෂොට් එක ගත්ත, පොර සේ කෙලින්ම ගිල්ල.


බුදු අම්මෝ, උගුර කට පිච්චිලා ගියා. පොරත්වය බින්දුවටම බහින වැඩක් නේ උනේ!


දැං ඉතිං අපේ මෑන් ට ඕනැ වුනේ අනිත් කාටවත් නොදැනෙන්න මොනව හරි වතුර වගේ දෙයක් බොන්නයි. හෙමින්ම ඉන්දියන්කාරයට කිව්ව ලංකේන්ඩියා භාෂාවෙන් "ජල්, ජල්" කියල.


මෙන්න බොලේ ඉන්දියන් කාරය කෙලින්ම සාක්කුවෙන් ලයිටරේ අරං පත්තු කරල දික්කලේ නැද්ද?


හින්දි වලින් ජල් කියන්නෙ දැවෙනවා, ගින්දර වගේ තේරුමකටයි. වතුර වලට කියන්නේ පානී කියලලු.


නොදන්න ලංකේන්ඩියා භාෂාව කතාකරන්න ගිහින් තව පොඩ්ඩෙන් ඇබ්සොලියුට් ඇල්කොහොල් වලටත් ගිනි ගන්නව.


ඔය රුසියාවෙ ගිය කෂ්ටියනෙ. අපේ කෂ්ටිය නං කලේ නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නහගත්තු එකනෙ..!


10/12/2011 sAcHiTh
____________________________________


                                                 ඇත්තම කියන්නම්. මේ කතන්දරේ ලියන්න ඕනැයි කියල හිතුන වෙලේ ඉඳලම මගේ හිතේ වැඩ කළේ කතන්දරේ ලියන්න ඕනැ කොහොමද කියන එකට වැඩියමේ කතන්දර පෝස්ට් එකට දාන පින්තූරය මොකක්ද කියන එකයි.

හිකිස්!

අන්තර්ජාලයෙ නං මේකට අවශ්‍ය පින්තූර ඕනැ පදං තියෙනව. ඒත් ඉතිං බහු ජන හිතාය බහු ජන සුඛාය කියල හිතල ඔන්න ඔය ඓශ්චර්යා ළමයගෙ ෆොටෝ එක තෝරා ගත්ත.

දැං අද කතන්දරේ ට යමුකෝ.

පහුගිය දවස්වල වී.සී.ඩී. බණක් ආව මතකයි නේද අර ජොලි කතා කියන හාමුදුරුකෙනෙකු ගේමං දැක්ක යූ ටියුබ් එකෙත් තියෙනවා.

ඒකෙ තිබුණ එක සොමිම සොමි කෑල්ලක් තමා අර කෙල්ලො අඳින ඇඳුම් ගැන තියෙන උඩත් ඒ.සී. යටත් ඒ.සී. සායෙ දෙපැත්තෙන්ම පලල එතන ඩබල් ඒ.සී. කියන එක.

ඇත්තම කියමු තමන්ට කැමති ඇඳුම අඳින්න තමන්ට අයිතියක් තියෙන්න ඕනැ. මයි කාර්මයි පැට්‍රොල්.

අපි කාගෙ කාගෙත් අකමැත්තක් නෑඕනැ කෙල්ලෙක් ඕනැ ඇඳුමක් ඇඳන් ඕනැ තැනක ගියාට. හැබැයිඒ අපේ නංගි හරිදුව හරි නංඒක වෙනනම විසඳගන්න ඕනැ කාරණාවක්.

ප්‍රශ්ණෙ මේකයි. අපි හිතමු කෙල්ලෙක් ලෝ කට් බ්ලවුස් එකක් ඇඳන් යනව කියල තමන්ට ඕනැ විදියට. මේ තැනැත්ති හොඳට පුද්ගලික වත්කම් තියෙන කෙනෙක් නම්ඔන්න උඩින් බලන කොට ළය මඩලේ සුන්දර දැක්මක් ලැබෙන එක වලක්වන්න බෑ. මූණ දිහා කෙලින් බලාගෙන කතාකරන කොට වුනත් අපේ ඇස් දෙක ක්‍ෂණයකට වත් ඒ පැත්තට දුවන එක වලක්වගන්න පුදුමාකාර වෙහෙසක් වෙන්න ඕනැ.

නමුත් ඇයි ඒ වගේ අහක බලන්න මහන්සි වෙන්නෙවත්කම් හෙලිවෙන බව නොදැනයැ ඇඳන් යන්නෙ?

ඉතිං අද කතන්දරේ මේකයි.

ඔන්න ටික දවසකට ඉස්සර තිබුණ පොඩි සාදයක්. එකම ෆීල්ඩ් එකේ වැඩ කරන අය එකට එකතු වෙන. අපි එක්ක එකට ඉගෙන ගත්තු ගොඩ දෙනෙකුත් එතැනට එන බව දන්න නිසා ඔන්න මාත් ගියා.

ආප්ප පිච්චෙන කං කෝක් එකක් බීබී හිටපු මං දැක්කඅපිත් එක්ක එක කාලෙ ඉගෙන ගත්තු ගීතිකා යිශමීන්ද්‍රාණි යි කතා කර කර ඉන්නව. හුඟ කාලෙකින් නෙ මේ දෙන්නව දැක්කෙ. මාත් එතනට ගියා හලෝ කියන්න.

ඉතිං අපි විනාඩි කිහිපයක් ආගිය තොරතුරු කතා කර කර හිටිය. ශමීන්ද්‍රාණි ඇඳල හිටියෙ කළු පාට සිල්ක් බ්ලවුස් එකක් පපුවෙ මැද හරියට විතර වෙනකං පලපු. මේ වගෙ ඇඳුමක් ඇඳන් ඉන්න කෙනෙකුගෙන් සාමාන්‍යයෙන් ලැබෙන දර්ශනය එතන තිබුන මං දැක්ක.

සමහර විට මං ඒ බව තුන් හතර පාරක් විතර දකින්න ඇති!

වෙනත් වචන වලින් කියනව නංමං උවමනාවෙන් ඒ දිහා බැළුවෙ නෑ. අනිමිසලෝචනයක් දැම්මෙත් නෑ. ඒ එක්කමමගෙ ඉදිරියෙ තියෙන දර්ශනයෙන් මගෙ ඇස් වෑයමකින් අයින් කරගන්නත් මං අමුතු මහන්සියක් ගත්තෙ නෑ.

විනාඩියක් දෙකක් යනකොට මෙන්න බොලේ ශමීන්ද්‍රාණි හිමිහිට අර සුන්දර දර්ශනය තමන්ගෙ අතින් කවර් කළා! එක අතකින් එයාගෙ මාලෙ අල්ලමින් කතා කරන්න පටන් ගත්ත.

ඒකෙ අවුලක් මට ආවෙ නෑ.

ඊලඟට උනේ මෙන්න මේකයි. ශමීන්ද්‍රාණි අතින් තමන්ගෙ ක්ලිවේජ් එක වහගන්න හැටි දැකපු ඒ ලඟින් හිටිය ගීතිකා එක පාරටම කලබල වෙලා අතින් එයා ඇඳන් හිටපු බ්ලවුස් එකේ කොලර් එක වහ ගත්ත.

මට ඇතිවුනේ ලැජ්ජාවටත් වැඩිය කේන්තියක්.

හේතුව මේකයි. ගීතිකා ඇඳල හිටියෙ බෙල්ල ලඟටම උඩටම බොත්තං දාපු බ්ලවුස් එකක්. ඒ කොහොම උනත්සමාවෙන්න මෙහෙම කියනවටඒ පලාතෙ ඇස් යන විදියෙ කිසිම දෙයක් තිබුනෙත් නෑ.

ඇත්තම කියනව නං සමහර විට ගීතිකා කවදාවත් ලෝ කට් බ්ලවුස් අඳින කෙනෙකුත් නොවෙන්න හේතුව ඒකයි මං හිතන්නෙ.

මට හිතෙන විදියට පස් පව් කියන ඒව පව් වෙන්නෙඅපි ඒව කළාම වෙනත් අයට ඒකෙන් අයහපතක් වෙන නිසයි. පර පණ නැසීමහොරකමකාමයේ වරදවා හැසිරීමබොරු කීම කියන පව් හතර ඉතා පැහැදිලියි. මත් පැන් බීම වුනත් බීල සිත විකල් වෙලා අනුන්ට කරදරයක් වෙන දෙයක් නෙ. ඒකයි පව. (හැබැයි රෑට රෑට පොඩි ෂොට් එකක් දාලා නිදාගන්න එකෙන් නං වැඩි පවක් නෑ වගේ. රෑට වයින් බීපු ජේ.ආර් කාරය මේ ආත්මෙන් ම නිවන් යන්න සෙට් වුනේ ඒ හින්දනෙ.)

ඉතිං මගේ තර්කය මේකයි. තමුන් කරන දෙයකින් අනුන්ට කරදරයක් වෙනව නං ඒක පාප ක්‍රියාවක්.

අර සොමි බණ හාමුදුරුවෝ කිව්ව වගේ ඩබල් ඒ.සී. දාල යන යන එන කොට අහල පහල ඉන්න සීලාචාර කොල්ලන් ට වැර වෑයමෙන් තමන් ගෙ ඇස් හසුරුවන්න කරදර වෙන්න වෙන එකත් මේ ආකාරයට වර්ග කරන්න බැරිද?






0 comments:

Post a Comment